සංචාරකයින් වැඩි කාලයක් රට තුළ රදවාගමු

සංචාරකයකු ශ්‍රී ලංකාව තුළ ගත කරන දින ගණන වැඩි කිරීම තුළින් සංචාරක කර්මාන්තයේ ආදායම වර්ධනය කර ගත හැක. පසුගිය කාලය තුළ ශ්‍රී  ලංකාවට පැමිණි සංචාරකයන්ගේ දත්ත විමසීමේ දී පැහැදිලි වන කරුණක් නම් සාමාන්‍යයෙන් සංචාරකයකු ශ්‍රී  ලංකාව තුළ ගත කරන කාලය දින 10ත් 11ත් අතර කාලයක් බවයි. සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා මෙම සාමාන්‍ය දින ගණන අවම වශයෙන් තවත් දෙදිනකින්වත් වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය.

ශ්‍රී  ලංකාව වර්ග කිලෝමීටර් 65,600ක භූමියක් සහිත කුඩා දිවයිනක් ලෙස පෙනුණද ශ්‍රී  ලංකාව තුළ පවතින විවිධත්වයෙන් යුතු දේශගුණික තත්ත්වයන් ඕනෑම ආකාරයක සංචාරකයකුගේ අවශ්‍යතාවක් සැපිරීමට සමත් වේ. ඉතාමත් කෙටි කලකින් සංචාරකයකුට අවශ්‍ය ශීත හා සෞම්‍ය දේශගුණය මධ්‍යම කඳුකරය ආශ්‍රයෙන්ද මුහුදුබඩ කලාපයෙන් උණුසුම් දේශගුණයද වඩාත් උෂ්ණ දේශගුණයක අවශ්‍යතාව කල්පිටිය, පුත්තලම, හම්බන්තොට වැනි ශුෂ්ක කලාපයෙන්ද ලබාගත හැක. ඊට අතරම විවිධත්වයෙන් යුතු ස්වාභාවික සම්පත් නිවැරැදිව සංචාරකයන් වෙත අලෙවියෙන් ඔවුන්ගේ ආකර්ෂණය වර්ධනය කර ගැනීමත් සිදුකළ යුතුය.

එසේම සංචාරක කර්මාන්තයේ සාම්ප්‍රදායික භාණ්ඩ වන ස්වාභාවික සම්පත්, වෙරළ තීරය, දිය ඇලි, වන සතුන්, වනාන්තර සහ ඓතිහාසික සංස්කෘතික උරුමයන් පමණක් නොව මෙතෙක් සංචාරකයන් වෙත හඳුන්වා නොදුන් ශ්‍රී  ලංකාව සතු වටිනා දායාදයන් සංචාරක කර්මාන්තය තුළට ඇතුළත් කළ යුතුය. විශේෂයෙන් වර්තමානයේ ලොව පුරා ප්‍රචලිත වන හරිත සංචාරක කලාප වර්ධනය කිරීමත් ඒ තුළින් පරිසර හිතකාමී සංචාරක පිරිසක් රට තුළට ගෙන්වා ගැනීමත්, පැමිණෙන සංචාරකයන් තව දුරටත් රට තුළ රඳවා ගැනීමත් සිදුකළ හැකිය.

එසේම ශ්‍රී  ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, සාම්ප්‍රදායික නැටුම් ක්‍රම, අංගම් පොර වැනි සාම්ප්‍රදායික සටන් ක්‍රම, ජෝතිර්වේදය සහ නක්‍ෂත්‍රය වැනි තවත් බාහිර ලෝකයෙන් සැඟව ඇති දේශීය නිමැවුම් ජාත්‍යන්තරය වෙත වඩාත් ආකර්ෂණීය ලෙස පිළිගැන්වීම කළ යුතු ය.මෙමගින් සංචාරකයන්ගේ ප්‍රමාණය වර්ධනය වීම මෙන්ම සංචාරකයකු ශ්‍රී  ලංකාව තුළ  ගත කරන කාලයද වර්ධනය කරගත හැකිය. වෙරළ තීරය සහ හිරු රශ්මිය පමණක් සහිත මාලදිවයිනේ සාමාන්‍යයෙන් සංචාරකයකු දින 7 කට වඩා වැඩි දින ගණනක් ගතකරන බව සංඛ්‍යා ලේඛන අනුව පෙනෙන බැවින් ශ්‍රී  ලංකාව තුළ ඇති ස්වාභාවික හා සංස්කෘතික සාධක වඩාත් ඵලදායි ලෙස මෙන් ම ක්‍රමවත්ව සංචාරකයන් වෙත පිළිගැන්වූවොත් සංචාරකයකු ශ්‍රී  ලංකාව තුළ ගතකරන දින ගණන අවම වශයෙන් තවත් දින දෙකකින් වර්ධනය කර ගත හැකි වනු ඇත. සංචාරකයකු ශ්‍රී  ලංකාව තුළ දී සාමාන්‍යයෙන් දෛනිකව සිදුකරන වියදම වර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තයේ සමස්ත ආදායම ඉහළ යනු ඇත.

වර්තමානයේ ශ්‍රී  ලංකාවට පැමිණෙන සංචාරකයකු සාමාන්‍යයෙන් දිනකට වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් 103 පමණ වන බව රේගු වාර්තා වේ. සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය අංශ මෙන්ම පෞද්ගලික අංශයද උත්සාහ කළ යුතු වන්නේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම තුළින් සංචාරකයන් වෙත ලබාදෙන වටිනාකම වර්ධනය කර අවම වශයෙන් ඉදිරි දෙවසර තුළ සංචාරකයකු දෛනිකව ශ්‍රී  ලංකාව තුළ වියදම් කරන මුදල තවත් ඇමෙරිකානු ඩොලර් 25කින් ඉහළ නැංවීමයි. එවිට සාමාන්‍යයෙන් සංචාරකයකු දෛනිකව ශ්‍රී  ලංකාව තුළ වැයකරන මුදල ඇමෙරිකානු ඩොලර් 125 සීමාව ඉක්මවා යනු ඇත. මෙම ප්‍රමාණය අසීරු ඉලක්කයක් ලෙස නොසැලකිය යුතු අතර වර්තමානයේ සිංගප්පූරුවේ සංචාරක හෝටලයක කාමරයක දිනක සාමාන්‍ය ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 250 ප්‍රමාණය ඉක්මවා ඇත. අපටද අවශ්‍යව ඇත්තේ මෙවැනි ප්‍රමිතිගත සංචාරක කර්මාන්තයක අවශ්‍යතාවයයි.